චින්තන අතර දැනුම් හුවමාරුව
චින්තන අතර දැනුම් හුවමාරු වන ආකාර තුනක් වේ.
- ආරෝපණය :
බටහිර විද්‍යාව ලංකාවේ ව්‍යාප්ත කිරීම ඇරඹුණේ මෙසේ ය.
2. අනුකරණය :
යම් චින්තනයක් දරන පිරිසක් හෝ එම පිරිසේ ඇතැමුන් වෙනත් චින්තනයක දැනුමක් එලෙසින් ම යොදා ගැනීම. එනම් දැනුමේ චින්තන පදනම වෙනස් නො කර ඒ ප්‍රවාදයන් එසේ ම භාවිත කිරීම.
සරච්චන්ද්‍ර මහතා රෙඩ්ෆීල්ඩ් ගේ චූල සංස්කෘති මහා සංස්කෘති ප්‍රවාදය හඳුන්වා දීම උදාහරණයකි .( බටහිර දාර්ශනිකයන්ගේ නම් හා ඔවුන් ගේ යෙදුම් -buzzwords- තමා කියන දෑට බරක් දීමට භාවිත කිරීම මීට පහළ ගණයේ අනුකරණයකි.)
3. අවශෝෂණය :
යම් චින්තනයක් දරන පිරිසක් වෙනත් චින්තනයක දැනුම, ඊට අනුරූපී වන පරිදි (analogous) තම චින්තනයේ ගොඩනැංවීමයි.
ශූන්‍ය සංකල්පය බටහිර ගණිතයට ගත් ආකාරය උදාහරණයකි.
ආරෝපණය ආධිපත්‍ය විසින් අධිකාරිමයව පැටවීමක් ද, අනුකරණය ආධිපත්‍යයකට ගැති වීමක් ද නිරූපණය කරන අතර අධිපතිවාදයකින් තොරව ක්‍රියාත්මක වන්නේ අවශෝෂණය පමණි. ඒ නිසා අධිපතිවාදයන්ට විරුද්ධ වන අයකුට අනුමත කළ හැක්කේ අවශෝෂණය පමණි.
යම් අයකුට වෙනත් චින්තනයක දැනුම භාවිත කළ හැකි නමුත් ඒ ඉතා අසම්පූර්ණ හා දුර්වල ආකාරයෙනි. එවන් විටක පරිවේදනය (insight) ඇති වීම ඉතා කලාතුරකින් සිදුවන්නක් වන අතර එම දැනුම නිර්මාණශීලීව හා උපරිමව භාවිත කිරීමේ හැකියාව ලැබෙන්නේ ම නැති තරම් ය. යථොක්ත චින්තනයේ දැනුමේ 'වර්ධනය' වීමට මේ දැනුමෙන් කිසිදු මෙහෙයක් නො වන අතර ආගන්තුක පිළිකාවක් පිළිලයක් මෙන් අසංගත භාවයක් ඇති කිරීම මිස කිසිවක් නො කරන තරම් ය. එහෙත් අවශෝෂණය මඟින් දැනුම නිර්මාණය වන්නේ එම චින්තනයේ ම බැවින් එහි උපරිම ප්‍රයෝජන ගැනීමටත් තව දුරටත් දැනුම වර්ධනය කිරීමටත් ඉතා ඉහළ ඉඩක් ලැබේ. එහෙයින් ධෛර්යවත් කළ යුත්තේ අවශෝෂණය ම ය.
දේව සංකල්පය: කෘෂි රසායන වකුගඩු රෝගය පිළිබඳ ප්‍රවාදයට පෙර
මේ සන්දර්භය යටතේ අප දකින්නේ දේව විශ්වාසය සෑම චින්තනයක ම පාහේ පැවතුණු බව ය. ඒක දේවවාදය පැවති සර්වබලධාරි දෙවියකු ගැන විශ්වාස කළ යුරෝපයේ නූතනත්වය සමඟ දෙවියන් ගැන තිබූ ආකල්පය වෙනස් වී ඇත. බටහිර විද්‍යාව තුළ දේව විරෝධී ප්‍රාකාශනයන් තිබුණ ද, බොහෝ දෙනා ගේ අවධානය යොමු වූයේ දෙවියන් ගේ ආකල්පය වෙනස් කිරීමට ය. හේතුවාදය ලංකාවේ දේව විරෝධයක් ලෙස කේන්ද්‍ර ගත වුව ද, අයිසෙක් නිව්ටන්, අයින්ස්ටයින් ආදී හේතුවාදය ඊනියා ප්‍රයෝජ්‍ය විද්‍යාවල පදනමක් බවට පත් කළ දැවැන්තයෝ සර්ව බලධාරී දෙවියන් විශ්වාස කළ හ. මා හොඳින් කියවා ඇති පරිදි නිව්ටන් තම කෘතිවල සෑම පරිච්ඡේදයකම පාහේ අවසානයේ ඔහු යෝජනා කරන ආකාරයේ යාන්ත්‍රණයකට (mechanism) සර්වබලධාරී දෙවියන් ගේ අවශ්‍යතාව අවධාරණය කරයි. දෙවියන් ගැන ම ලියැවුණු පරිච්ඡේද ද ඇත. දේව විරෝධි බව කියන ධාරාවල ප්‍රකාශනයන්හි ද Reason, Nature යන පද සමඟ God යන්න අතුරුමාරු කළ හැකි (interchangeable) බව පෙනේ.
දැන් මේ සන්දර්භය තුළ සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙවියන් ගේ විශ්වාසය ගැන සලකමු. සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙවියෝ සර්වබලධාරි මැවුම්කරුවෝ නො වෙති. අප වැනි ම, අපට වඩා පින් කර ඇති , සත්ත්ව කොට්ඨාසයකි. සමහර දෙවියෝ අපට සමාන්තරව මේ ලෝකයේ ම සිටිති. සමහර දෙවියෝ සිටින්නේ අපට වඩා වෙනස්ව කාලය ගලා යන තැන්වල ය. මේ දෙවියන් ඇතැම් මිනිසුන්ට විවිධ ආකාරවලින් ගෝචර වේ.
මේ දෙවියන් දැනුම ද ලබා දී ඇත. සමහර ඍෂිවරුන් දෙවියන්ගෙන් දැනුම් ලබාගත් අතර මෑත කාලීනව පවා සමහර සිංහල බෙහෙත් එසේ සෑදූ ඒවා ය. කැටවල තෙල් හෙවත් ශ්‍රී ධන්වන්තරී තෛලය එසේ හීනයකින් පැමිණි අයකු කී අයුරින් නිර්මාණය කරන ලද මා අත් දැකීමෙන් ම සාර්ථකත්වය දන්නා ඉතා හොඳ බෙහෙතකි. ඉක්මණින් තුවාල සුව කිරීමට ඊට ඇති හැකියාව පුදුමාකාර ය.
ඉතා පැරණි පුරාවෘත නො සලකා හළ ද, රාමානුජන් තම සමීකරණ ලීවේ නමක්කාල් දෙවඟන ගේ උදව්වෙනි යන්න බැහැර කළ හැකි ද? ඒවා බටහිර ගණිතයෙන් ඔප්පු කිරීමට ඔහු නො දත් අතර ඒවා සමහරක් ඔප්පු කළේ G.H. Hardy නම් විශිෂ්ට බටහිර ගණිතඥයා ය. සමහර සූත්‍ර බටහිර ගණිතයට පටහැනි විය. ඒවා වැරදි ලෙස සලකා ඉවත දැමුණි. පුදුමාකාර ලෙස ඒ බටහිර ගණිතයට පටහැනි සූත්‍ර ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ඇතැම් ප්‍රතිඵල හා සමපාත වන බව පසු කාලීන ව පෙනී ගොස් ඇත. මෙවන් ප්‍රයෝජ්‍යතා පිළිබඳ අපට කුමක් කිව හැකි ද?
මේ අයුරින් අපට කිව හැක්කේ දෙවියන් හා දැනුම අතර සම්බන්ධය අතීතයේ සිට ම පැවැති බව ය. එහෙයින් මෙම අදහසේ පුනරාගමනයට නිර්මාල් දේවසිරි ගේ විවරණය සාධාරණ නො වේ.
බටහිර විද්‍යාවේ ආගමනයෙන් පසු ලංකාවේ දෙවියෝ
බටහිර විද්‍යාවේ ලංකාවට මුල් ආගමන සිදු වූ කාලයේ පරම විඥානාර්ථවාදී සංගමය සක්‍රියව පැවතිනි. පරම විඥානාර්ථවාදය සියලු ආගම් හා විද්‍යාව ඒකාබද්ධ කිරීමේ යෝජනාවකි. සිංහල බෞද්ධ දේව සංකල්පයට දාර්ශනික විරෝධයක් මුල් කාලයේ බටහිර විද්‍යාවෙන් එල්ල කිරීමට නො හැකි වූයේ ධර්මපාලතුමා ආදීන් දැක්වූ අදහස් නිසා ය. ධර්මපාලතුමා දෙවියන්ට විද්‍යාත්මක අර්ථකථන නොදුන් අතර විද්‍යාව සමඟ ගැටුමක් දුටුවේ ද නැත. තරුණ කාලයේ බුදු දහම හා බටහිර විද්‍යාව සංගත කළ හැකි ය යන්න පිළිගත් එතුමා පසුව පරම විඥානාර්ථවාදී සංගමයෙන් ඉවත් වූයේ එවන් උපක්‍රම අසාර්ථක බවත් බුදු දහම විකෘති කිරීමක් බවත් වටහා ගනිමිනි. පසුකාලීන ලියකියවිලි බලන විට මෙම වෙනස හොඳින් පෙනේ. මුල් කාලයේ පවා එතුමා එම අදහසේ දැඩිව නො සිටි බව ( Mc Mohan ගේ මතයට විරුද්ධව ) පැවසිය හැක්කේ මුල් කාලීන ප්‍රකාශවල භාෂා ශෛලිය විමසා බැලීමෙනි. දෙවියන් බුදු දහමෙන් ඉවත් කිරීම හා අඩුවෙන් අවධාරණය කිරීම ඇරඹුණේ පසුකාලීනව මාර්ටින් වික්‍රමසිංහ හා කොවුර් යුගවල ය.
මේ යුගය බටහිර විද්‍යාව අධ්‍යාපන ආයතන ඔස්සේ ආරෝපණය කරවූ යුගයයි. අනුකාරකයන් බිහි වී ඔවුන් සමාජයේ පිළිගැනීම ලබා ගැනීමත් සමඟ 'ශාස්ත්‍රීය' ප්‍රජාව දෙවියන් දුටුවේ උපහාසයෙනි. දැනුම සම්බන්ධයෙන් දෙවියන්ට තිබූ තැන නැති විය. ආරෝපණය හා අනුකරණය නිසා සිංහල බෞද්ධ දෙවියන් විස්ථාපනය වූයේ තවත් එවැනි ම ස්වරූපයේ සංකල්පයකින් නො ව ඊට වඩා භයානක සර්ව බලධාරී දෙවියකු ගේ ස්වරූපයෙනි. නිව්ටන්, අයින්ස්ටයින් ආදීහු අනභියෝගී දෙවියන් වැනි වූ අතර අනුකාරකයන් ඔවුන් ගේ මෙලොව (ලංකා) නියෝජිතයන් විය. මෙය පසුකාලීනව කුමන අතට වෙනස් වුව ද ලංකාවේ ශාස්ත්‍රීය සාකච්චාවල දී දාර්ශනික හා විද්‍යාඥ නම් ගම් විසිවන්නේ දේව සටන් පරිදි ය. ඔවුන්ගේ ප්‍රකාශවලට දේවවාක්‍යවල තැන් ලැබුණි.
කෙසේ නමුත් අවසානයේ මේ දාර්ශනික විද්‍යාඥ දෙවිවරුන්ට ප්‍රතිපක්ෂව සිංහල බෞද්ධ දේව සංකල්පය දැනුම පිළිබඳ සංවාදයට ගෙන ඒමට ආචාර්ය නලින් ද සිල්වා මහතා සමත් විය. මේ සිදුවීම් අවසානයේ නාථ දෙවියන් කී දෙයක් ප්‍රශ්න කළ නො හැකි යැයි කියන අයගෙන් පෙන්නේ චින්තන වෙනස නො සැලකූ අනුකාරක ස්වරූපයයි. අප නාථ දෙවියන් පිළිගන්නේ අපට වඩා පින් ඇති අපට වඩා විශේෂ වූ හැකියාවන් සමහරක් ද ඇති ප්‍රාණියකු ලෙස මිස අනුකාරකයන් නිවුටන් ගැන කොපර්නිකස් ගැන සිතන අයුරින් නො වේ. කොපර්නිකස් යමක් ඔප්පු කළ බව පෙළ පොතේ සටහන් වූ පමණින් එය දේව වාක්‍ය වී ඔහු එය ඔප්පු කර ඇති බව දැඩිව ගැනීමක් ඒ ගැන නො විමසීමක්, අපේ චින්තනයේ අපට හමුවන දෙවියන් කෙරේ අපට නැත. අපට ඒ තවත් ප්‍රාණියෙකි. අපේ චින්තනයේ අප දෙවියන් කී දේ පවා අපේ චින්තනයට අවශෝෂණය කරනවා මිස ආරෝපණය කිරීමට ඉඩ දීමක් හෝ අනුකරණය කිරීමක් නො කරමු.
දෙවියන් ගැන විද්‍යාත්මක අර්ථකථන
මා පෙර සඳහන් කළ වික්‍රමසිංහ , අදිකාරම් , කොවුර් යුගවල දෙවියන්ට බටහිර විද්‍යාවේ අර්ථකථන දීමට පෙළඹිණි. පෙර කී ලෙස හේතුවාදයේ (rationalism) හා යථාර්ථවාදයේ (realism) ලාංකික ප්‍රවේශය සිදු වූයේ තර්ක බුද්ධියේ (reason) හෝ හේතුමය භාවයේ (causality) වැදගත්කම හෝ අනිවාර්ය බව අවධාරණයෙන් නො ව, වාස්තවිකත්වය පිළිබඳ සාකච්චාවකින් නොව ඉතා විකෘති ලෙස 'අදෘශ්‍යමාන බලවේග' විරෝධයකිනි. දෙවියන් ගැන ද මේ විරෝධය එල්ල විය. දෙවියන්ට විකල්ප විද්‍යාත්මක අර්ථකථන එක් කර ඊට මුහුණ දුන් අය අතින් දෙවියන් සූත්‍රගත (formulate) වූයේ දැනුම පිළිබඳව දෙවියන් ගැන තිබූ උපයෝගීතාවයන් ගෙන් පරිබාහිරව ය. බොහෝ අර්ථකථනවල අරමුණ වූයේ ත්‍රිපිටකය හේතුවාදීන්ට අනුකූලව තබා ගැනීමට ය. ඇත්තෙන් ම හේතුවාදීහු ද තර්කය , න්‍යාය , හේතුමය බව ගැන බුදුන් වහන්සේ කියූ දෑ අවධාරණය නො කොට තබා කාලාම සූත්‍රය ආදී සූත්‍රවල තමන්ට අවශ්‍ය කොටස් පමණක් සලකා තම තර්ක බුදු දහමින් තහවුරු කිරීමට උත්සුක වූ හ. බුදු දහමේ වචන හා තම පාරිභාෂික පදවල රූපීය සමානකම් වංචනිකව යොදා ගත් හ. හේතුවාදය හා හේතුඵලවාදය , යථාර්ථය හා යථාභූත එසේ ගළපන ලදී.
ඒ නිසා දෙවියන්ට විකල්ප අර්ථකථන දීමෙන් හා සමහර තැන් අවධාරණය නො කර සිටීමෙන් ත්‍රිපිටකය හේතුවාදී තර්ජනයෙන් රැකගැනීමට ඇතැමුන් බොළඳ උත්සාහ ගැනීම එක් අතකට නාමිකව සාර්ථක උත්සාහයක් විය.
දෙවියන් පර්සියානුවන් කිරීම, ගෝත්‍රයක් කිරීම , පිටසක්වල ජීවීන් කිරීම, සමාන්තර විශ්ව වාසීන් කිරීම , සංකේත ලෙස දැකීම එවැනි ය. මේවා යම් තරමකට සාර්ථක වීමට හේතු වූයේ පැරණි සිංහල බෞද්ධ දේව සංකල්පය මෙන් ම යක්ෂ ආදී සංකල්ප ද බහු විවරණ සහිත වීමයි. උදාහරණ ලෙස මාර සංකල්පය බුද්ධඝෝෂ හිමි ම පස් ආකාරයකට විවරණය කර ඇත. (පංච මාර සංකල්පය). එහෙත් උන් වහන්සේ එසේ කළේ දිව්‍ය පුත්‍ර මාරයා ප්‍රතික්ෂේප කිරීමට නො වේ. එසේ ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපිටකය ඉඩ නො දේ. දිව්‍ය පුත්‍ර මාරයා ගේ නම මාර නො ව ප්‍රජාපති ය. මිථ්‍යා දෘෂ්ඨික , බෞද්ධ විරෝධී , ඉහළ ම දෙව් ලොවේ නායකයා මරණයේ සංකේතයේ නාමයෙන් නම් කිරීම අරුමයක් නො වේ.
මෙයින් පෙනෙන්නේ සංකේත දේවකරණය කරන ලෙස ම (ගණ, සරස්වතී) ප්‍රාණී දෙවියන් සංකේතවලින් හැඳින්වීම ද සිදුව ඇති බව ය.මේ නිසා ඔවුන් ගේ අදහස් තරමක් සාර්ථක වුවත් මේ අර්ථ විවරණවලින් එකකට සීමා වූ ඔවුන් තම ව්‍යාපෘතිය සඳහා ත්‍රිපිටකයේ බොහෝ කොටසක් 'අමතක කළ බව' (නො තකා හැරි බව) අමුතුවෙන් කිව යුතු නැත.
සමහර දිව්‍ය ලෝක සමාන්තර බව බුදුන් වහන්සේ ම දෙසා ඇත. සංකස්ස පුරේ දී එවන් දිව්‍ය ලෝක උන් වහන්සේ මිනිසුන්ට විවර කොට පෙන්වූ සේක. සමහර දිව්‍ය ලෝකවල කාලය ගලා යන්නේ පෘථිවියට වඩා ඉතා සෙමින් ය. නිව්ටෝනීය භෞතික විද්‍යාව අනුව මුළු විශ්වයට ම ඇත්තේ එක ම කාලයකි. එකල එය අර්බුදයක් වෙන්නට ඇත. අද අයින්ස්ටයින්ට පසු මේවා ඉතා සාමාන්‍ය දේ ය. විද්‍යාව හා සංහිඳියාවකට නො යෑමේ වරදක් අඩු ම තරමින් මේ කරුණේ දීවත් නැති බව මින් පෙනේ.
මීළඟ ලිපියට
No comments:
Post a Comment