පහත ඡේදය බලන්න.
"පහුගිය මාසේ දවසක දවාලේ මම ටවුමට ගියා. හොඳට ම වහිනවා. මට කුඩයක් ගෙනියන්න අමතක වුණා. අන්තිමට මම හෝටලයක් ඇතුළට ගියා. හෝටලේ කවුළුවලිනුත් හිරිකඩ ඇතුළට එනවා. මුළු ඇඟ ම වෙවුළනවා. උහුළන්න බැරි සීතලයි."
මේ සිද්ධිය පසුගිය මාසේ දවසක සිදු වූවකි. අතීත සිද්ධියකි. එහෙත් මෙහි නිල් පැහැයෙන් දක්වා ඇති පද අනතීත ය. මෙහි ද ඉහත කී විසංවාදය ඇත. දැනට පිළිගැනෙන නීතිය අනුව ඉහත සියලු පද අතීත විය යුතු ය. එවිට,
"පහුගිය මාසේ දවසක දවාලේ මම ටවුමට ගියා. හොඳට ම වැස්සා මට කුඩයක් ගෙනියන්න අමතක වුණා. අන්තිමට මම හෝටලයක් ඇතුළට ගියා. හෝටලේ කවුළුවලිනුත් හිරිකඩ ඇතුළට ආවා. මුළු ඇඟ ම වෙවුළුවා. උහුළන්න බැරි සීතලයි."
මෙය ඉතා කෘත්‍රිම විකෘති ඡේදයක් බව පැහැදිලි ය. මෙසේ වන්නේ Historic Present හෙවත් ඓතිහාසික වර්තමානය නිසා විය හැකි යැයි යමකු පැවසිය හැකි ය. එහි දී කිව යුත්තේ ඓතිහාසික වර්තමානය යෙදෙන විට අදාළ වාක්‍ය එකතුවේ ම (lexia මීට ගැළපෙන බව සිතමි.) ඓතිහාසික වර්තමානය යෙදෙන බව ය. එනම් පහත පරිදි වන බව ය.
"පහුගිය මාසේ දවසක දවාලේ මම ටවුමට යනවා. හොඳට ම වහිනවා. මට කුඩයක් ගෙනියන්න අමතක වෙලා තියෙනවා. අන්තිමට මම හෝටලයක් ඇතුළට යනවා. හෝටලේ කවුළුවලිනුත් හිරිකඩ ඇතුළට එනවා. මුළු ඇඟ ම වෙවුළනවා. උහුළන්න බැරි සීතලයි."
මෙසේ වී නැත. මේ උදාහරණයෙන් පෙනෙන්නේ කටවහරෙහි ඇත්තේ ද කාල භේදයක් නොව වෙනත් භේදයක් බවයි.
දැන් ඔබට මතුවිය හැකි ප්‍රශ්නය අතීත කාලයේ අර්ථයෙන් අනතීත යැයි කියන ක්‍රියා පද යොදන ලෙසින් ම විලෝම වශයෙන් අනතීත කාලයේ අර්ථයෙන් අතීත කාල යැයි කියන ක්‍රියා පද යෙදීම සිදුවන්නේ ද යන්නයි.
වර්තමානයේ කරන දෙයක් සන්නිවේදනය කරන්නේ ඊට පසු බැවින් මේ අවස්ථාවට උදාහරණ දැක්වීම දුෂ්කර වේ. එසේ වන්නේ ඇයි දැයි ඉදිරි ලිපියක දී ඔබට පැහැදිලි වනු ඇත.
එක් ලිහිල් උදාහරණයක් දැක්වීමට කැමැත්තෙමි. මට මතක් වුණා, මට මතක් වෙනවා යන්න සලකන්න. අමතකව තිබූ යමක් මේ මොහොතේ මතකයට ආ විට වුව ද (ලිහිල්ව ගත් කල වර්තමානයේ වුව ද) අපි කියන්නේ මට මතක් වුණා ලෙසිනි. මට මතක් වෙනවා යනුවෙන් අප අදහස් කරන්නේ නිතර නිතර සිහිපත් වන දෙයකි. අතීතයේ නිතර නිතර සිහිපත් වූ දෙයක් ගැන ද අප කියන්නේ මට මතක් වෙනවා ලෙසිනි.
උදාහරණයක් ලෙස:
ඒ කාලයේ මට නිතර නිතර ගෙදර මතක් වෙනවා. දැන් නම් ගාණක් නෑ.
මේ අතීතයේ දී අනතීත යැයි කියන ක්‍රියා පද යෙදීමකි.
ඔය කතාව කීවේ කවු ද කියලා මට අමතකයි. ඉන්න කල්පනා කරලා බලන්න . හරි. දැන් මතක් වුණා.
මේ ලිහිල්ව ගත් කළ අනතීත අර්ථයෙන් අතීත කාල යැයි කියන ක්‍රියා පද යෙදීම පිළිබඳ නිදසුනකි.
මේ කරුණුවලින් පෙනෙන්නේ කටවහරේ ද කාල භේදයක් නැති බවයි.
කාල භේදය ඉවත් කොට වෙනත් සංකල්පයක් පැනවීමෙන් මේ ගැටලුව නිරාකරණය කළ හැක්කේ කෙසේ දැයි මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
- තමලු මලිත්ත පියදිගම
පෙර ලිපියට පසු ලිපියට
වටිනා සටහනක්... ස්තූතියි ...
ReplyDeleteස්තූතියි
ReplyDelete