දේව-සිරි: දැනුම හා දෙවියන් ගැන ආචාර්ය නිර්මාල් රංජිත්ට පිළිතුරකි- 01

"දෙවියන්" පිළිබඳ ප්‍රශ්නය හා ජාතික චින්තනය යන මැයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ලිපියක් ලියා ඇත. මේ ලිපිය ලියැවෙන්නේ ඊට පිළිතුරු ලිපියක් වශයෙනි.

නිර්මාල් දේවසිරි මහතා ගේ ලිපියේ කියැවෙන්නේ මෙබඳු දෙයකි: දෙවියන් ගැන විශ්වාස හා ගැටුණ ද දෙවියන් ගැන විශ්වාස සහමුලින් ඉවත් කිරීමට බටහිර විද්‍යාවට (හෝ නවීන විද්‍යාවට) නො හැකි විය. මීට හේතුව වූයේ බටහිර විද්‍යාවේ පරාසයෙන් සියල්ල ආවරණය නො වූ නිසා මිනිස් අවශ්‍යතාවල ආවරණය නො වූ කලාපයක් ඇති වීම ය. මේ ආවරණය නො වූ කලාපයේ අවශ්‍යතා ආගම් මඟින් තෘප්ත කෙරුණු අතර විද්‍යාව හා ආගම් අතර ඊනියා හේතුවාදීන් ඇති කළ ගැටුම් පැවතියේ මෙහි අද්දර පමණක් බැවින්, බටහිර විද්‍යාව සමඟ ම සමතුලනයක් ඇති කර ගනිමින් ආගම් ද දිගින් දිගට ම පැවතුණි. ආචාර්ය නලින් ද සිල්වා මහතා විසින් මේ සමතුලනය බිඳ හෙළමින් දේව සංකල්පයන් ආවරණය කරන මිනිස් අවශ්‍යතා පරාසය පුළුල් කරමින් බටහිර විද්‍යාව මඟින් විසඳුම් දෙන මිනිස් අවශ්‍යතා පරාසය සමඟ අතිඡාදනය කර ඇත. මේ සමඟ ම ඇති වූයේ නව දේව 'කතිකාවකි' (discourse). මේ සමඟ හේතුවාදීන් පැරණි දේව කතිකාවට එරෙහිව ඉදිරිපත් කළ තර්ක නව තත්වය සඳහා වලංගු නො වන අතර මේ නව කතිකාවට එරෙහිව බිහි වූ 'රැඩිකල්' තර්ක ද එහි සංඝඨකවලට පහර දීමට මිස බුද්ධිමය අභියෝගයක් ඇතිකිරීමට අසමත් ය. කෙසේ නමුත් මෙබඳු ඵලයක් ඇති වී තිබේ. බටහිර විද්‍යාවේ හා දේව සංකල්පයේ නව අතිඡාදන කලාපයේ පවතින මිනිස් අවශ්‍යතාවලට මේ නව කතිකාව මඟින් පොරොන්දු වූ විසඳුම් කොහි ද යන්නයි. කාලගුණ ස්ටාර් වැනි විපරීත ඉල්ලීම් ඇති වන්නේ මේ සන්දර්භයේ ය. තව ම මේ නව කතිකාව ළදරු තත්වයේ ඇති නිසා තරඟ පැවැත්වීම නො මනා අභියෝගයකි යන්න නිර්මාල් දේවසිරි මහතාට අනුව පිළිගත නො හැකි ය. දෙවියන් ගේ නව කතිකාවෙන් වැඩ ගැනීම කම්කරු විප්ලවය මෙන් වාස්තවික තත්ව ඇතිවන තෙක් බලා සිටිය යුත්තක් නො වේ. බටහිර විද්‍යාවේ අධිපතිවාදීව පැතිරුණේ කාර්මික ජයග්‍රහණ නිසා බව පවසන ඒ මහතා එස්.ඒ. වික්‍රමසිංහ මහතා මැලේරියාව මර්දන ව්‍යාපාරයේ දී සිදු කළ කාර්යභාරය දේව කතිකාව හා බටහිර විද්‍යාව ගැටුණු එක් තැනක් බවත් එහි දී බටහිර විද්‍යාව තහවුරු වීමට උපයෝගීතාවය (pragmatism) හේතු වූ බවත් කියවේ.

ඉහත සාරාංශ ගත වී ඇති තර්ක විෂ්ලේෂණය කිරීමේ දී හා අදාළ පඨිතයන් (text) විසංයෝජනය (deconstruction) කිරීමේ දීත් පෙනී යනු ඇත්තේ නිර්මාල් දේවසිරි මහතා ගේ තර්කවල  පදනම වන්නේ ඔහු ගේ නො සලකා හැරීම් (ignorance) , ජාතික චින්තනයේ ප්‍රතිවාදියා වීමට (අනෙකා යන්නට දේවසිරි මහතාට වඩා ප්‍රිය වනු ඇත.)  ඔහු තුළ ඇති ආශාව  (desire) (මෙය ගෝලයින් නො වන ලෙස අප හැඳිනගන්නා කඳවුරේ ම සාමාජිකයන් ගේ අදහසකි.) හා එහි දී ගොඩනැඟෙන ජාතික චින්තන ප්‍රතිවාදී කඳවුරක කඳවුරට පිටතින් (ඇතුළතින්) සිට කඳවුර බේරා ගැනීමේ වුවමනාව හෙවත් ඔහු මත ප්‍රේරණය වන (කරගන්නා) වගකීමයි. මෙහි කඳවුර යනු 'ජාතික චින්තන' අදහසට විරුද්ධ මතධාරී පඨිතයන් (texts) හා එහි කර්තෘන් අතර සම්බන්ධතාවන් මඟින් ගොඩනැඟෙන්නකි. (මෙය අර්ථ දැක්වීමක් ලෙස නො ගත යුතු ය.) මේ අතර ඒ කඳවුර තුළ ම අප විසින් නිර්මාල් අනුගාමිකයන් ලෙස හඳුන්වනු ලබන උප කඳවුරක් වේ.
පැහැදිලිව ම ව්‍යුහයක (structure) හැසිරීම තෘප්ත කරමින් කඳවුර නිර්මාණය කරන කේන්ද්‍රය ලෙස පවතින (සිටින) නිර්මාල් දේවසිරි කඳවුරින් පිටත සිටී. Center is not center යන සුප්‍රකට ප්‍රකාශය එනම් කේන්ද්‍රය කේන්ද්‍රයක් නො වේ යන්න ශාස්ත්‍රීය විග්‍රහ කළ යුත්තේ මෙවන් සන්දර්භයක ය. (එක්තරා සිද්ධියකින් පසු) ව්‍යුහයක කේන්ද්‍රය පිහිටන්නේ ව්‍යුහයට පිටතින් ය. කඳවුරේ නිර්මාපකයා වූ ද කේන්ද්‍රය වූ ද දේව-සිරි , සර්වබලධාරි දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කොට ඊට කේන්ද්‍රය ව ඇතුළතින් පිටතින් සිටින ලෙසින් කඳවුරට ඇතුළතින් පිටතින් සිටී. ඔහුගේ කතිකාවේ (discourse) ඔහුට ගෝලයින් නැත. අප ගෝලයින් ලෙස හඳුනා ගන්නන්ට ඔහු ගුරුවරයා වුව ද කඳවුර කණ්ඩායම යන පැවැත්ම ඔවුහු ප්‍රතික්ෂේප කරති. ව්‍යුහයක් හඳුනා ගැනීමට (ගොඩ නැඟීමට) කේන්ද්‍රයේ කාර්යභාරය මින් පෙනේ. ගෝලයින් ලෙස අප විසින් හඳුනා නො ගන්නා කඳවුරේ අය හා දේව-සිරි අතර ද ඇත්තේ ඊට ආසන්න සබඳතාවකි. කේන්ද්‍රය ව්‍යුහයේ ඇතුළතින් පිටතින් සිටී. පද්ධතිය ගොඩ නඟා කේන්ද්‍රය පද්ධතියෙන් බැහැර වීමේ සිද්ධියෙන් (event) පසු අපට දැකීමට ඇත්තේ මේ ව්‍යුහය තුළ නිදහස් ක්‍රීඩනයයි. (Free play) . එහෙයින් ජාතික චින්තන ප්‍රතිවාදීන් අපට දැකීමට යෝජනා කරන ස්වායත්ත නිදහස් ක්‍රීඩනය අප දැකිය යුත්තේ විසංයෝජනය කිරීමෙන් පසු ය.
අපට 'නිර්මාල් දේවසිරි කණ්ඩායම' නම් ව්‍යුහයෙන් හා එය වටා වූ 'ජාතික චින්තන ප්‍රතිවාදී පිළ' නම් ව්‍යුහයෙන් ඉදිරිපත් වෙන පඨිත(texts) විසංයෝජනය (deconstruction) කිරීමේ දී මේ සිද්ධිය (event) අනිවාර්යයෙන් ම අප ගේ අවධානයට යොමු කළ යුතු ය. ඔවුන් ගේ ප්‍රකාශවල සැඟවුණු පූර්ව-උපකල්පන හඳුනා ගත හැක්කේ කේන්ද්‍රයේ මේ (අ)ස්වාභාවික හැසිරීම වටහා ගත් විට ය. කණ්ඩායමක් නො වන කණ්ඩායමක්, ගෝලයින් නො වන ගෝලයින් ආදී අප විසින් මේ 'කඳවුර' හැඳින්වීමට භාවිත කරනු ලබන පඨිතයන් (text) අර්ථවත් වෙන්නේ මෙවිට ය.

දැන් මාගේ ලේඛන ශෛලිය හුරු පුරුදු පාඨකයින් ඉහත ඡේදය ගැන විස්මපත් විය හැකි ය. මේ මගේ භාෂා රටාව නො වේ. මා නිතර භාවිත කරන යෙදුම් නො වේ. ප්‍රතිවාදීන් සමඟ සංවාදයක් සාර්ථක වනු ඇත්තේ දෙපාර්ශ්වය භාෂා රටාවේ පාලමක් ඇති කර ගැනීමෙනි. ඒ නිසා මේ ලිපියේ මාගේ සුපුරුදු භාෂා ව්‍යවහාරයට අමතරව පශ්චාත්නූතනවාදී ව්‍යවහාර ද යෙදෙනු ඇත. ප්‍රතිවාදීන්ට විරුද්ධව ප්‍රතිවාදීන් ගේ සංකල්ප භාවිත කිරීම උචිත දැයි යනුවෙන් යමකු ඇසිය හැකි ය. යමක් බිඳ හෙළීමේ දී අවශ්‍ය ඕනෑ ම උපක්‍රමයක් භාවිත කිරීමේ නිදහස ඇත. මා මෙහි පශ්චාත්නූතනවාදය භාවිත කරන්නේ පශ්චාත්නූතනවාදීන් මෙහෙයවා ගැනීමට භාවිත කළ හැකි තෝන් ලණුව ලෙසත් ප්‍රතිවිරුද්ධ පෙරමුණේ සටන් වදිනා බුද්ධි අංශ චරපුරුෂයකු ලෙසත් පමණි.


ප්‍රාගානුභූත (a priori) අමතක කළ කතිකාව (discourse)

නව දේව කතිකාව, පැරණි දේව කතිකාව හා විද්‍යා කතිකාව ලෙස ලෙස නිර්මාල් දේවසිරි මහතා කතිකා තුනක් ගැන කතා කර ඇත. කතිකාව යනු සංඥා , සංඥිත, වස්තු ආදිය ගොනු වීම ගැන අදහසකි. මේ අදහස ඉදිරිපත් කිරීමේ දී ෆූකෝ (Foucault)ට වැටහුණේ යම් කාලයක දී සත්‍ය  ලෙස සැලකෙන්නේ සමහර කතිකා පමණක් බවයි. කතිකා සත්‍ය බව හැඟීමට මූලික කරුණක් , ප්‍රගානුභූතයක් (a priori) , ඇති බව ඔහුට වැටහිනි épistème සංකල්පය එහි ප්‍රතිඵලයක් විය. යම් සංස්කෘතියක යම් කාලයක ඇත්තේ එක් épistème බව ඔහු පැවසී ය. කතිකාවන් පිළිගැනීමට ලක්වන්නේ මීට අනුව ය. ඔහු බටහිර සංස්කෘතියේ ඓතිහාසික épistème හතරක් දුටුවේ ය. මෙය ඉතා දුර්වල විග්‍රහයක් බව ෆූකෝට ම අවබෝධ විය. පසු කලෙක ඔහු épistèmeවල සමකාලීන සහ-පැවැත්ම පිළිගත්තේ ය. 

අවසානයේ අපට මින් ගත හැකිව ඇත්තේ කතිකාවන්ට ප්‍රාගානුභූත (a priori) ඇති බව ය. ඒවා සංස්කෘතිය සමඟ බද්ධ බව ය. ඒ ප්‍රගානුභූත පැහැදිලි කිරීමට épistème අසාර්ථකය. සුසමාදර්ශය හා épistème අතර පියාජේ ගේ සන්සන්දනය පැහැදිලිව ම දුර්වල ය. මේ ප්‍රාගානුභූත (a priori) සුසමාදර්ශවලට වඩා ප්‍රාථමික බව පැහැදිලි විය යුතු ය. සුසමාදර්ශ හතරක් වැනි සුළු සංඛ්‍යාවකට ගත නො හැකි බව පැහැදිලි හෙයින් දුර්වලව නමුත් ෆූකෝ හඳුනා ගැනීමට උත්සාහ කළේ සුසමාදර්ශයෙන් එහා දෙයකි.

මේ ඉව නිර්මාල් දේවසිරිට පවා වැටී ඇත. දේව කතිකාව බටහිර විද්‍යාවට විරුද්ධව කීමට මැළිවන බව කියා දැනුමට යැයි කියන්නේ එහෙයිනි. 

ජාතික චින්තන ප්‍රතිවාදී පිළ අතර හුවමාරු වන බෞද්ධ කතිකාවත , ක්‍රිස්තියානි කතිකාවත, විද්‍යා කතිකාවත , මනෝ විෂ්ලේෂණ කතිකාවත ආදී යෙදුම් සඳහන් ඇතැම් රූප සටහන් දෙස අප උපහාසයෙන් බලන්නේ මේ සන්දර්භය තුළ ය.

පශ්චාත්නූතනවාදයට ස්වායත්තව ස්වාධීනව බිහි වුණු, ආචාර්ය නලින් ද සිල්වා මහතා ගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ චින්තනය සංකල්පයේ විශිෂ්ටත්වය මේ තත්වය සංගතව විග්‍රහ කර ගැනීමට එය සමත් වීමයි.

චින්තන (chinthana) හා සුසමාදර්ශ (paradigm)

චින්තනය යනු යම් පිරිසක් පිළිගන්නා දාර්ශනික පසුබිම (philosophical background ) හා න්‍යාය (logic) , ඥානවිභාගය (epistemology මෙය බටහිර මෙන් ontology හා වෙන් ව ගැනීම කළ නො හැකි අවස්ථා ඇත.) හා ආකල්ප (attitudes) යන කොටස් තුනෙන් සෑදුණකි. චින්තනය එම පිරිසේ දැනුමේ පදනම වේ. (එහෙත් චින්තනය දැනුමින් ස්වායත්ත නො වේ.)
සංස්කෘති ඇතිවන්නේ ද චින්තනවල ය. එහෙයින් මෙය සංස්කෘතියට ද වඩා මූලික වූවකි. ආසන්න අනෙක් සංකල්පවලින් චින්තනය කැපී පෙනෙන ලෙස වෙනස් වන ඉතා වැදගත් ලක්ෂණයක් ලෙස මා දකින්නේ චින්තනය සංස්කෘතියට ද වඩා මූලික ලෙස ගොඩනඟා තිබීමයි. අනෙක් සංකල්ප අසාර්ථක වන විට චින්තනය කාලය ගැන හෝ සංස්කෘතිය ගැන ඉදිරිපත්වන කරුණුවල දී විසංවාද ඇති නො කරන්නේ එය පිහිටුවා ඇති මෙම ස්ථානය ද නිසා ය. එහෙත් ඊට එක ම හේතුව එය නො වේ. (Civilisation ගැන යමකු විමසිය හැකිය. එය අප නො පිළිගන්නා සංකල්පයකි. Civilisation යෝජනා කරන්නේ සංස්කෘති අතර පවතින තමා එක වර්ගයක් සේ පිළගෙන පොදුවේ එකා වෙනුවෙන් එකා පෙනී සිටීමේ තත්වයයි. එය දැනුම විග්‍රහ කිරීමේ දී වැදගත් සංකල්පයක් නො වේ. අනෙක් අතට චින්තනය මෙන් නොව civilisation අනිවාර්යයෙන් පැවතිය යුත්තක් නො වේ. හන්ටිංටන් ථෙරවාද බෞද්ධ රටවල්වල ඇති civilisation නම් නො කිරීමට ප්‍රවේසම් වේ.)

චින්තනය ගැන පැහැදිලි හා සවිස්තර විග්‍රහයක් 'මගේ ලෝකය' දෙවන උපග්‍රන්ථයේ වේ.

සුසමාදර්ශය (paradigm) යනු යම් අවස්ථාවක චින්තනයක් තුළ බලයේ ඇති කේන්ද්‍රීය ප්‍රවාදයක් (center-theory) සහිත පද්ධතියකි. මේ පද්ධතියේ ස්වයං සංගත වීමට (self-consistency) අවශ්‍ය ප්‍රවාද හා කරුණුවල විවරණ (interpretation of facts) එය බිහි වූ ඓතිහාසික ක්‍රියාවලිය මඟින් මූලික ප්‍රවාදයට අනුකූලව තෝරාගෙන ඇත. සුසමාදර්ශ දෙකක් සමකාලීනව පවතින්නේ කෙටි කාලයක් පමණක් වන අතර එහි දී එක එකෙහි සහායකයින් අතර තරඟයෙන් හා දේශපාලනික ක්‍රියාවලියක් මඟින් අදහස් ඒත්තු ගැන්වීමේ හැකියාව ලබා ගැනීමෙන් ජය ලබන සුසමාදර්ශය ඉන්පසු දිගු කලක් පවතිනු ඇත. මෙවන් ක්‍රියාවලියක් 'සත්‍යයට' ළඟා විමක් විය නො හැකි ය. වාස්තවික යථාර්ථයක් නො පවතින බැවින් දැනුම නිර්මාණයක් වන අතර දැනුමක් ඒත්තු ගැන්වීම හා තහවුරු කිරීම දේශපාලනික ක්‍රියාවලියකි.

මීළඟ කොටසට
අවසන් කොටසට



No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි