වංගීස සුමනසේකරට පිළිතුරක් - 2

වංගීස සුමනසේකර මහතා 'මගේ ලෝකය' කෘතිය විවේචනය කරමින් 'බව' බ්ලොග් අඩවියේ පළකෙරෙන ලිපිවලට පිළිතුරක් සේ ලියන දෙවන ලිපියයි.

පළමු ලිපිය පහත සබැඳියෙන්  >>>

වංගීස සුමනසේකර මහතා සඳහන් කරන පරිදි 'මගේ ලෝකය' කෘතියේ ඉදිරිපත් කෙරෙන ප්‍රධාන තර්කයක් වන්නේ මනසින් බාහිර වූ වාස්තවික (objective) ලෝකයක් මනසින් ග්‍රහණය කරගත හෝ පරිකල්පනය කරගත හෝ නො හැකි ය යන්නයි. එනම් මනසට බාහිර ලෝකයක් ගැන සිතීම ම මනසින් සිදුකරන්නක් බැවින් අවසාන වශයෙන් එය ද මනසේ ම පවතින්නකි යන්නයි.

වංගීස එම තර්කය ප්‍රතික්ෂේප නො කරන අතර (අඩු ම තරමෙන් ලාංකීය අවකාශය තුළ) බුද්ධිමය සංවාදවලින් භෞතිකවාදය තීරණාත්මක ලෙස පසු බැස්වීමට හේතු වූ තර්කයක් ලෙස අගය කරයි.

වංගීස පවසන්නේ එම තර්කය යටතේ වාස්තවිකත්වය ප්‍රතික්ෂේප කරමින් නිවන පිළිගැනීමට 'නො හැකි' බවයි. ඔහු මෙහි දී එළඹෙන්නේ මෙවන් ප්‍රවේශයකට ය. මනසින් බාහිර යන්න අවසානයේ මනස තුළ ම පරිකල්පනය කරන්නක් බැවින් එයත් මනසේ ම පවතී යන්න 'තම ලිපියේ දී' (as a matter of fact) වංගීස පිළිගනියි. මනසින් බාහිරයක් ගැන අපට කිසිසේත් දැනුමක් ලබා ගත නො හැකි හෙයින් මනසෙන් බාහිර වාස්තවික ලෝකයක් නො පවතී යන්න ද වංගීස 'තම ලිපියේ දී' පිළිගනියි.

මේ පිළිගැනීම් යටතේ ඔහු මෙම තර්කය නිවනට හා මනසට යොදයි. ඔහු පවසන්නේ පුටුව වැනි වස්තුවක් ගත් විට එය පවතින මෙන් ම නො පවතින අවස්ථා මනසට හිතාගත හැකි හා පරිකල්පනය හැකි බව ය. ඔහුට අනුව ගැටළුව ඇත්තේ මනසේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයේ දී ය. ඔහු පවසන්නේ පරිකල්පනය කරන්නේ හා සිතන්නේ මනස බැවින් මනස නො පවතින අවස්ථාවක් සිතීමට හෝ පරිකල්පනය කිරීමට මනසට නො හැකි බවයි. එනම් මනස නො පවතින අවස්ථාවක් මනසින් දැකිය නො හැකි බවයි. මනස නො තිබෙන අවස්ථාවක් මනසින් පරිකල්පනය කළහොත් (එසේ කළ හැකි නම්) එසේ කරන්නේ මනසින් ම නිසා එතන මනස පවතිනු ඇත. ඒ නිසා එසේ කළ නො හැකි ය.(අවසන් ලිපියේ වැඩිදුරටත් වංගීස කියන්නේ මනස "දෘෂ්ටි කෝණයක්" ද වන බැවින් මනස නො පවතින අවස්ථාවක් මනසින් එනම් දෘෂ්ටි කෝණයක් සහිතව දැකිය නො හැකි බවයි.)

දැන් වංගීස කියන්නේ මනස නොමැති බව මනසින් පරිකල්පනය කළ නො හැකි බවයි. ඉන්පසු ඔහු අසන්නේ බාහිර ලෝකය නො පිළිගන්නේ එය අවසානයේ මනස අභ්‍යන්තරයේ ම ඇති නිසා නම් ඒ අයුරින් ම (analogous) මනසේ නො පැවැත්ම අවසානයේ මනස තුළ ම පවතින බැවින් හෙවත් මනසේ නො පැවැත්ම මනසින් දැනගත නො හැකි බැවින් මනසේ නො පැවැත්ම හෙවත් නිවන ද නො පිළිගත යුතු නො වේ ද යන්නයි. මෙසේ මනසින් සිතා ගත හෝ පරිකල්පනය නො කළ හැකි දේ වංගීස රැඩිකල් අනේකත්වයන් (radical alterity) ලෙස නම් කරයි. 
දැන් වංගීස අසන්නේ මේ රැඩිකල් අනේකත්ව අතරින් වාස්තවිකත්වය යනාදී දේ ප්‍රතික්ෂේප කර නිවන පමණක් පිළිගන්නේ ඇයි යන්නයි. 

වංගීස කියන්නේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ ඊට හේතුවක් දී නැති බව ය. එය බුදු දහම සමඟ බද්ධ කොට ඉදිරිපත් කොට ඇති නිසා නිවන පිළිගන්නේ භක්තියේ අවකාශයේ බව ය.

පැහැදිලිව ම වංගීස නලින් ද සිල්වා ගේ තර්කයෙන් රේසරයක් නිර්මාණය කරයි. මනසින් ග්‍රහණය කර ගැනීම විසංවාදී වන දේ (ඔහු ගේ වචනයෙන් රැඩිකල් අනේකත්වයන්) කපා හැරීමට රේසරය සකසා තිබේ. වාස්තවික යථාර්ථය කපා දැමීමට භාවිත කළ රේසරය නිවනට ලං නො කරන්නේ කුමන හේතුවක් ඇතුව ද? නැතිනම් භක්තිය හෝ ඇදහීම නිසා ද? මේ වංගීස ගේ ප්‍රශ්නයයි. දැන් මනසේ ආරම්භය හෝ අවසානය ද මනසින් පරිකල්පනය කළ නො හැකි බැවින් මේ රේසරයෙන් කපා දැමුවහොත් ශාස්වතවාදයක් (වංගීස ගේ වචනයෙන් පූර්ණ විකසිත විඥානවාදයක් ) ඉතුරු වේ ද? 

'නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයට' එල්ලවූ තරමක් ප්‍රබල විවේචනයක් ලෙස මෙය ගිණිය හැකියි. වංගීස නිතර සඳහන් කරන මනස දෘෂ්ටි කෝණයක් වීම යන්න ඔහු ගේ තර්කයේ එක්තරා දුර්වලකමක් ලෙස මම දකිමි. දෘෂ්ටි කෝණය වචනය යොදන විට ම මනස බාහිරයක් දෙස බලන බව ඇඟවේ. එතැන දී ම වංගීස රේසරයෙන් කැපී යයි. අවසන් ලිපියේ දී (එය දුර්වල බව මා කීවේ එහෙයිනි.) වංගීස මනස නොමැති වීම දැකීම අප නැති කාමරයක නිර්දෘෂ්ටිකෝණමය අවස්ථාවක් පිළිබඳ තර්කයකින් දක්වයි. මෙහිදී වාස්තවිකත්වය මතු වී වංගීස අර රේසරයෙන් කැපී යයි.

කෙසේ නමුත් වංගීස ගේ තර්කය දෘෂ්ටිකෝණය යන යෙදුම රහිතව ද පැවසිය හැකි ය. එහෙයින් ඒ පිළිබඳ වැඩිදුර කතා නො කරමි. බැලූ බැල්මට ප්‍රබල තර්කයක් සේ පෙනෙන වංගීස ගේ තර්කය ඇත්තෙන් ම එසේ වේ දැයි විමසා බලමු.

මුලින් ම සලකා බැලිය යුත්තේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය එවන් රේසරයක් නිර්මාණය කරයි ද යන්න ය. මෙහි දී සිහිපත් කළ යුතු වැදගත් දෙයක් වන්නේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ඉදිරිපත් කෙරුණේ සිංහල බෞද්ධ චින්තනයේ ඥාන විභාග (epistemological ) ප්‍රවාදයක් ලෙස බවයි. ඥාන විභාගයේ මූලික කාර්යය දැනුම විග්‍රහ කිරීම ය. එහෙත් පාරභෞතිකයෙන් (metaphysics) හා සත්භාවවේදයෙන් (ontology) වෙන් කොට එවැන්නක් ගැන කතා කළ නො හැකි ය. 'මගේ ලෝකයේ' ආරම්භයේ දී ම දැක්වෙන ප්‍රකාශයකට අනුව යම්කිසිවක පැවැත්මත් ඒ ගැන දැනුමත් එක ය. දැන් මේ පදනම මත දී ඥානවිභාගය , සත්භාවවේදයෙන් වෙන් කිරීම ඉතා අසීරු වේ. දැන් ඉහත තර්කය යෙදිය යුත්තේ මේ පදනම යටතේ ය. එහෙත් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය එහි සීමාවට පරිධියේ ඇති දේ සඳහා බුදු දහම උපයෝගී කර ගැනීම ගැටළුවක් නො වේ. එය නිර්මාණය වන්නේ ම සිංහල බෞද්ධ ඥානවිභාග ප්‍රවාදයක් ලෙස බැවිනි. දැන් බාහිර යථාර්ථයක පැවැත්මත් ඒ ගැන දැනුමත් යන දෙක ම එක ය. පැහැදිලිව ම දැකිය හැක්කේ 'බාහිර යථාර්ථයක්' ලෙස දැනුමක් නැති බව ය. එහෙයින් බාහිර යථාර්ථයක් නො පවතී. දැන් නිවන ගැන ද අවසානයේ දැනුමක් නැත. මෙහි දී විශේෂත්වය වන්නේ නිවන දැනුමක් නො වන බව ආරම්භයේ දී කියා තිබීමයි. දැන් මෙයින් නිවනේ පැවැත්ම ප්‍රතික්ෂේප වේ ද? නිවන 'පවතින්නක්' නො වේ. සංකල්පයක් නො වේ. එහෙයින් ම නිවනේ පැවැත්ම පිළිබඳ ගැටළුවක් ඇති නො වේ. දැන් මානසික ලෝකයේ ආරම්භය හා අවසානය වෙත මෙය යොමු කළහොත් කුමක් වේ ද?

මානසික ලෝකයේ ආරම්භය අචින්ත්‍ය බව බොහෝ බුදුන් වහන්සේ දේශනා කර තිබේ. එය සෙවීමට උත්සාහ කළ මුගලන් හිමියන්ට ද එවැන්නක් සොයා ගත නො හැකි විය. දැන් මානසික ලෝකයේ අවසානය ද එසේ ම සිතිය නො හැක්කකි. එනිසා එහි ද පැවැත්මක් නැත. මානසික ලෝකයේ පැවැත්ම අවසන් කිරීම නිවන් දැකීමයි. එහිදී පැවැත්මක් නැත. ඒ නිසා එවන් ප්‍රශ්නයක් මතු වන්නේ නැත. 

දැන් අපට මානසික ලෝකය 'අවසන් කළ හැකි' බව පිළිගන්නේ කෙසේ ද? වංගීස අසන්නේත් මෙම හැකියාව ගැන ය. වංගීසට මෙම ප්‍රශ්නය මීට වඩා පැහැදිලි ව මෙසේ ඇසීමට තිබුණි. මගේ ලෝකයෙන් වාස්තවික යථාර්ථයක් ප්‍රතික්ෂේප කරන ලෙසින් ම දුක්ඛ නිරෝධාර්ය සත්‍ය (දුක / පැවැත්ම නැති කළ හැකි බව) ප්‍රතික්ෂේප නො කරන්නේ ඇයි? 

මීට පිළිතුරු දීම සඳහා වංගීස ඉදිරිපත් කරන්නේ හෛඩැගර් ගේ කරුණුමය භාවය නම් සංකල්පයයි. එනම් අපව මේ තත්වයට ඇද දමා ඇති බව කීම ය. (මට නම් මෙය පෙනෙන්නේ ඒක එහෙම තමා කීමක් ලෙසිනි.) 

කෙසේ නමුත් මනස නිරුද්ධ වීම හෙවත් මනසත් නො පවතිනා බව නැති මනසෙන් ම 'දැන ගැනීම' (සාමාන්‍ය අරුතෙන් නම් එසේ දැන ගැනීමට නො හැකි ය. ) තේරුම් ගැනීමට පෙර මනස යනු කුමක් දැයි විවරණය කළ නො හැකි ය. 

'නැති මනස විසින් මනස නැති බව නැති මනසින් ම අවබෝධ කර ගනී' යන්න ප්‍රමාණවත් නො වන පිළිතුරක් ලෙස වංගීස දකියි. එම වාක්‍යය හුදෙකලාව ගතහොත් එය නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය හමුවේ ඇති ප්‍රශ්නය ම නැවත පුනරුච්චාරණය කිරීමක් සේ දැකීම සාධාරණ ය. 

එහෙත් බොහෝ අවස්ථාවල දී උපුටා දැක්වෙන මෙම වාක්‍යය යම් විස්තර කිරීමක අවසාන එළඹුමයි. ප්‍රශ්නයක පිළිතුරේ අවසාන එළඹුම වන්නේ ප්‍රශ්නයේ ම පුනරුච්චාරණයක් වීම සාමාන්‍යයෙන් හැම විට ම පාහේ සිදු වන්නකි. (අතීතයේ QED , QEF ලෙස පැහැදිලි කිරීම්වලට පහලින් ලීවේ ද මේ නිසා ය. තවමත් ගණිතයේ දී ලියමු.) සැබැවින් ම පිළිතුර ඇත්තේ ඊට පෙර කොටසේ ය. 

නැති මනස විසින් මනස නැති බව නැති මනසින් අවබෝධ කරගන්නේ කෙසේ ද යන්නට පෙර නැති මනස මනස ඇති බව නැති මනසින් දුරවබෝධ කරගන්නේ ඇයි යන්නත් විවරණය කළ යුතු ය. 

නලින් ද සිල්වා මහතා කියන්නේ මෙවැන්නකි. 

"කලින් චිත්තයේ හා ඊට පෙර චිත්තවල තොරතුරු විසින් ඇති කෙරෙන මතකයක් ඇති බැවින් ඒ මතකය සත්වයෙකු ගේ, පුද්ගලයකු ගේ සංකල්පය ඇති කරයි. එනම් මනසක් නිර්මාණය කරයි. නැත්නම් මනසක් නිර්මාණය වෙයි. (අපට සිතෙයි. එමෙන් ම අපි සිතමු.ඉංග්‍රීසියෙහි සිතන බව හා සිතෙන බව පැවසිය හැක්කේ ඉතා අමාරුවෙනි.) මනස යනු ඇතිවන නැතිවන චිත්ත පරම්පරාවේ තොරතුරු සන්තතියක් ලෙස වැරදියට තේරුම් ගැනීමෙන් නිර්මාණය වන්නකි.) එසේ තේරුම් ගන්නේ ද මනස ම ය. මනස නිර්මාණය වන්නේ ද එසේ තේරුම් ගැනීමෙනි. මේ චක්‍රීය භාවයෙන් ගැළවීමක් නැත. එපමණක් නො වේ. මේ මනස ආකෘතිය නිර්මාණය කරන්නේ චිත්ත ඇසුරිනි. චිත්ත යනු මනසේ නිර්මාණයක් වෙයි. එහි ද චක්‍රීය භාවයක් වෙයි. මේ සියල්ල අනිත්‍ය අනාත්ම අනවබෝධයෙන් සිදුවන දෑ ය." 

- නලින් ද සිල්වා
සිංහල බෞද්ධ මනස

වැඩි දුරටත් ආචාර්ය නලින් ද සිල්වා මහතා පවසන්නේ "අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයේ දී පිරිනිවන් පානා තෙක් චිත්ත පරම්පරාව ඇති වෙමින් නැති වෙමින් පැවතුණ ද පිරිනිවන් පෑමෙන් පසු අලුත් චිත්තයක් ඇති නො වේ." ලෙසිනි. 

දැන් මින් පෙනෙන්නේ මනස වෙනස් ආකාරයකට එනම් චිත්ත සමූහයක් ලෙස මනසින් ම වටහා ගත හැකි බවයි. එසේ වටහා ගන්නා විට මනස වෙනත් ආකාරයකින් එනම් මනස නොවන ලෙසකින් දැකිය හැකි ය.

මෙහිදී අපට මෙසේ ප්‍රශ්න කිරීමක් කළ හැකි ය. එය අර සුපුරුදු බර්ක්ලී තර්කයේ ආකෘතියෙන් ම ඉදිරියට ගෙන යා හැකි ය. අපට අපේ මනස දැනේ ද? මනස යන්නක් ග්‍රහණය වන්නේ මනස ලෙස ම ද? අපට පෙනෙනු ඇත්තේ අපට ගෝචර වෙන්නේ, සිතුවිලි , හැඟීම් , මතක හා සංවේදන බව ය. දැන් මනස යනු කුමක් ද? මනස යනු (වැරදි ) සංස්කරණයක් ලෙස පෙනෙනු ඇත. 

දැන් ඒ සංස්කරණය සිදුවන විට ම ආපසු අතට සංස්කරණයේ ක්‍රියාව මනස ලෙස සංස්කරණය වී ඇත. සිත් පරම්පරා , සංවේදන , මතක ආදියෙන් යමක් සංස්කරණය කෙරෙන විට ම ඒ ක්‍රියාව එනම් දැන ගැනීම (නිර්මාණය කිරීම) යන්න ද ඒ හා ම සංස්කරණය වේ. මනස යනු මේ දැන ගැනීමේ ක්‍රියාව ය. දැන ගැනීමේ හෙවත් නිර්මාණය වීමේ ක්‍රියාව ඇති වන විට ම එය ම මනස වන බැවින් හා ඒ මොහොතේ මනස ඇතිව තිබෙන බැවින් මෙය අපට (නැති) මනස විසින් (නැති) මනස නිර්මාණය වීමක් ලෙස දැකිය හැකි ය. ඒත් සමඟ ම මේ නැති මනස ඇතැයි ගැනීමේ විසංවාදයෙන් මිදීමට මනස යත්න දරයි. ක්‍රියාවක් ලෙස උපදින (නැති) මනස (සිතීම පාලනය කරන්නා වූ කේන්ද්‍රීය) 'දෙයක්' ලෙස (වැරදි ලෙස) පෙනී සිටීමේ දී තම හැඟීම්වල , විඳීම්වල තමා සොයයි. ඉන් එපිටින් තමා සොයයි. නැතහොත් විඳීම්වලට ලක්වන්නා ලෙස තමා සොයයි. නැවත නැවතත් ඇතිවන මේ විසංවාදී ක්‍රියාවලියේ අවසන් ඵලය නැති මනස විසින් සංකල්ප රැසක් නිර්මාණය කොට ඒවායේ කොහේ හෝ සාරමය පැවැත්මක් අපේක්ෂා කිරීමයි. ඉහත කී සිතුවිලි විඳීම් මතකය වැනි දේ පවා (නැති) මනසේ නිර්මාණ වේ. ඒ මනස ඇති වීමත් සමඟ ම මනස ඒවා සංකල්ප ලෙස ඇති කළ බැවිනි.

පැහැදිලි විය යුත්තේ මනස මනස නො වන ආකාරයකින් මනසින් ම දැකීමට (චිත්ත සමූහය ලෙස) හැකි බව ය. මෙසේ දැකිය හැකි වීමෙන් මනස නොමැති අවස්ථා 'පරිකල්පනය' කළ හැකි ය. එසේ පරිකල්පනය කරන මොහොතක දී එම මොහොතේ මනස, මනස නො වනු ඇත. නැවත ඒ 'පරිකල්පන' මොහොතින් මිදුණු විට මනස යනු චිත්ත සමූහයක සංස්කරණයක් බැවින් ඒ 'දැකීම' ('පරිකල්පනය') නැති මනස විසින් මනස නැති බව වටහා ගැනීමක් ලෙස සංස්කරණය කළ හැකි ය. ඉහත කී මොහොතේ මනස නැති වන බැවින් එම මොහොතේ ම චිත්ත ආදී මනසෙන් සාදාගත් සංකල්ප ද අහෝසි වී යනු ඇත. එම මොහොතට පසු නැවත නැති මනස විසින් නැති මනස මනස ලෙස ගැනීමෙන් එම මොහොත චිත්ත ආදී දෙයින් විග්‍රහ කළ හැකි ය. 

දැන් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයෙන් නිරෝධාර්ය සත්‍ය ප්‍රතික්ෂේප නො වන බව පෙනේ. 

මේ සාකච්චාව සම්පූර්ණ වීම සඳහා වංගීස ගේ තර්ක සඳහා පදනම් වූ බව මට පෙනෙන ස්වචාර (idiosyncrasies) කිහිපයකට පිළිතුරු දෙමි. 

දුක්ඛ නිරෝධාර්ය සත්‍ය සඳහා cause යන අර්ථයෙන් හේතුවක් දිය හැකි ද? නො හැකි ය. අවශ්‍ය වන්නේ ද නැත. Cause හා effect අතර සම්බන්ධය හුදෙක් ම උපකල්පනයකි. ප්‍රතිඵලය(effect) සඳහා කිසිදු ආධාරක ස්ථම්භයක් cause මගින් සැපයෙන්නේ නැත. (හියුම් ගේ තර්ක බලන්න) ඒ නිසා කරුණක ශක්තිමත් භාවය වර්ධනය කිරීමට cause මගින් ලැබෙන්නේ වංචාකාරී සහයක් පමණි. අනෙක් අතට cause 
පැවතිය යුත්තේ effect සිදු වීමට පෙර ය. ඒ අරුතෙන් ගතහොත් මනසේ ඇරඹුම හෝ නිමාවට හේතු (cause) සැපයිය නො හැකි ය. අනෙක් අතට එසේ හේතු (cause) සැපයිය හැකි නම් එය ම වාස්තවිකත්වය පිළිගැනීමක් වනු ඇත. Cause and effect යනු වංචාකාරී රැවටිල්ලක් ම වන විට නිවනට cause සැපයීම කිසිසේත් අවශ්‍ය නො වන්නකි. 

මීළඟ ස්වචාරය යමක නිෂේධය තර්කයට භාජනය කළ හැක්කක් ද යන්නයි. පෙර ලිපියේ ද ලිවූ පරිදි නිෂේධ දෙවර්ගයක් වේ. එක් නිෂේධයක් තර්කයට භාජනය කළ නො හැකි ය. 

නිවන අවබෝධ කරගැනීමට මාර්ගයක් ඇත. එය දීර්ඝ හා අසීරු බව සැබෑ ය. ඒ මාර්ගයේ යෑමට මුල දී ශ්‍රද්ධාව අවශ්‍ය ය. ඔබට ගණිත ප්‍රමේයයක පිටු 150ක දිගු සාධනය ලබා දී ඇත. ඔබට මෙය කියවා අධ්‍යයනය කිරීමට සිතක් ඇති නො වේ. ගලිවර් ලාපුටා දේශයේ දී දුටු ලෙසින් පොත කොටා ඉස්ම පෙවීමේ ක්‍රමයක් ද නොමැත. ලාපුටාවේ සිසුන් බොහෝ දෙනකු පවා හොර රහසේ ඒ නීරස ඖෂධය වමනය කළ බැවින් එය එතරම් සාර්ථක නො වූ බව ගලිවර් කියයි. දැන් ඔබ කරන්නේ කුමක් ද? ගණතඥයා විශ්වාස කොට ප්‍රමේයය පිළිගැනීම ද? මේ භක්තියයි. පොතේ සාධනය අධ්‍යයනය කළ යුත්තකි යැයි සිතා අධ්‍යයනය කිරීම මෙහි ශ්‍රද්ධාවට සමකළ හැක්කකි. 

දැන් ඒ ගණිත ප්‍රමේයය පිළිගැනීමට ප්‍රාගානුභූත හේතුවක් (a priori) ඉල්ලා සිටීම නිවැරදි ද? බොහෝ අවස්ථාවල එසේ ලබා දිය නො හැකි අතර ද ලබා දෙන අවස්ථාවල ද සාධනය වැරදි විය හැකි බවට උදාහරණ පෙන්විය හැකි ය. 

මා මේ පිළිබඳ ලියූවේ 'මගේ ලෝකයේ' නිවන පිළිගැනීමත් එහි මූලික තර්කයත් අතර පරස්පරයක් නොමැති බව කීමට ය. නලින් ද සිල්වා මහතා නිවන පිළිබඳ හුදු ස්වයං තෘප්තියට කරුණක් පමණක් වන ප්‍රාගානුභූත හේතු සැපයීමකින් තොර ව පැහැදිලි කිරීමක් කොට නිවන් දැකීමේ මාර්ගය ඇති බුදු දහම වෙත ශ්‍රද්ධාවෙන් යුතුව නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය යොමු කරයි. 

- තමලු මලිත්ත පියදිගම

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි