මගේ ලෝකය' ගැන වංගීස සුමනසේකර ගේ විවේචනයට පිළිතුරක් -1
වංගීස සුමනසේකර මහතා ආචාර්ය නලින් ද සිල්වා මහතා ගේ 'මගේ ලෝකය' කෘතියේ මතවාදය විවේචනය හා විචාරය කරමින් බ්ලොග් සටහන් පෙළක් පළ කරමින් සිටී.
'මගේ ලෝකය' යනු නලින් ද සිල්වා මහතා සිය ඥානවිභාග ප්‍රවාදය ඉදිරිපත් කළ කෘතියයි. වංගීස ප්‍රශ්න කරන්නේ මගේ ලෝකයේ දාර්ශනික ප්‍රවේශය නිවනට ආදේශ කිරීමේ දී නිවන හුදු විශ්වාසයක් පමණක් බවත් නිවන පිළිගනිමින් බාහිර වූ යථාර්ථයක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම එහි දාර්ශනික ප්‍රවේශයේ දුර්වලතාවක් බවත් ය.
වංගීස සුමනසේකර ගේ තර්ක මෙසේ සාරාංශ කරමි.
1. ජාතික චින්තන කණ්ඩායමේ ප්‍රධාන මතවාදයක් වන්නේ බර්ක්ලි ගේ තර්කයයි.
2. මනසේ (ඔහු ගේ වචනයෙන්) 'රැඩිකල් අනේකත්වයක්' (මනස නො පවතින අවස්ථාවක්) පරිකල්පනය කළ නො හැකි ය.
3. මානසික ලෝකයේ පැවැත්ම අනිවාර්ය වීමට හේතුවක් ඉදිරිපත් කර නැත.
4. එහෙයින් බාහිර ලෝකයක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ඉදිරිපත් කළ නො හැකි අතර එසේ කළ නො හැකි ය.
5. නිවනේ 'වියහැකි' බව නොමැති බව පෙන්වා දීමට නම් මානසික ලෝකයේ පැවැත්මට අනිවාර්ය පරම හේතුවක් දැක්විය යුතු ය.
6." නමුත්, ගැටලුව වන්නේ, මේ ආකාරයට අපගේ මානසික ලෝකයෙන් රැඩිකල් ලෙස විනිර්මුක්ත වූ අනේකත්වය ලෙස අපට ‘නිවන’ පමණක් හඳුනා ගැනීමට හේතුවක් නොමැති වීමයි. "
7."‘මනසින් පරිබාහිරත්වයක් සිතීමේ නොහැකියාව’ පිළිබඳ තර්කයට අනුව මේ නොපැවැත්ම කුමක්ද කියා අපට දැනුමින් – මනසින් – ග්‍රහණය කර ගැනීමට නොහැකි වේ. මන්ද මා ගේ නොපැවැත්ම පිළිබඳව සිතීම කළ හැක්කේ ද මනසින් පමණි. එවිට එම නොපැවැත්ම පිළිබඳව අදහස අපගේ මානසික ලෝකය තුළ පවතින්නක් බවට පත්වෙයි. එවිට, මාගේ නොපැවැත්ම ද මගේ මනසට සාපේක්ෂ වන්නක් ලෙස ගැනීමට සිදු වීම වන අතර, එනිසාම එය සත්‍ය වශයෙන්ම, කිසිදා, මාගේ නොපැවැත්මක් නොවනු ඇත. එනිසා මාගේ නොපැවැත්මක වියහැකිබව පිළිගැනීම යනුම මානසික ලෝකයේ විෂම චක්‍රයෙන් පරිබාහිරත්වයක් පිළිගැනීමකි."
8."මන්ද, එය පරිකල්පනය කරනවා යනුම එය නැවතත් අපගේ මනසට සාපේක්ෂ වන්නා වූ දෙයක් බවට පත් කර ගැනීමයි. එනිසා, මේ මගින්, තාර්කිකව ගත්විට, කෙනෙකුට කිව හැකි වන්නේ එවැනි නොපැවැත්මක වියහැකිබව තමන් පිළිගන්නවා යන්න පමණි"
පළමු කරුණ ගැන කිව යුත්තේ බර්ක්ලි තර්කයේ හා ජාතික චින්තන කණ්ඩායමේ තර්කවල ස්වභාවයේ සමානකම් ඇති නමුත් නලින් ද සිල්වා මහතා ඉදිරිපත් කරන තර්කය බර්ක්ලේ ඉදිරිපත් කළ තර්කයේ සීමාව ඉක්මවා යන බවයි. ඒ පිළිබඳ වංගීස සුමනසේකරට ගැටළුවක් ඇතැයි නො සිතමි. චිකාගෝ දේශනයක දී ධර්මපාලතුමා පැවසූයේ බර්ක්ලි තර්කයේ අනෙක් දාර්ශනික අර්ධය සැපයෙන්නේ බුදු දහමින් බව ය.
පුටුවේ රැඩිකල් අනේකත්වය පුටුව අමුද්‍රව්‍ය ලෙස එනම් වෙනත් අයුරකින් තිබීම බව වංගීස කියයි. එවන් අරුතකින් නම් මනසේ අනේකත්වය ද දැකිය හැකි ය.
වේදනා , සඤ්ඤා ,සංඛාර ,විඤ්ඤාණ, රූප ආදී වශයෙන් වෙන් කොට ද සිත් වශයෙන් වෙන් කොට ද මනස වෙනත් ලෙසකින් මනසින් ම දැකිය හැකි ය. මනස නොමැති අවස්ථාවක් පරිකල්පනය ඒ අයුරින් කළ හැකි ය. අප සිදුකරන ක්‍රියාවක් සඳහා "සිතීම" ලෙස සම්මුතියක් ඇති කර ගැනීමත් , සිතීමේ ඉන්ද්‍රියක් ඇති බව සංස්කරණය කිරීමත්, එය මනස ලෙස දැකීමත් එම ක්‍රියාවෙන් ම සිදුවන්නකි. දැන් එම ක්‍රියාවෙන් ම මනස තනි භූතාර්ථයක් ලෙස නො සලකා සිත් වශයෙන් හෝ ස්කන්ධ වශයෙන් හෝ දුටුවහොත් 'පරිකල්පනය කළහොත්' කුමක් වේ ද? මනස යනුවෙන් අපි හඳුන්වමින් සිටි ප්‍රපංචයෙන් ම 'මනස' නොවන අවස්ථාවක් පරිකල්පනය වී ඇත.
මානසික ලෝකයේ පැවැත්ම අනිවාර්ය වීමට හේතුවක් නැත. යම් කිසි ප්‍රස්තුතයකට හේතු දැක්වීම යනු කුමක් ද? හේතු දැක්වීමෙන් පිළිගැනීමට ලැබෙන රුකුළ කුමක් ද? හේතුව යනු ප්‍රස්තුතයකට ලබා දුන් තවත් ප්‍රස්තුතයකි.. ඒ ප්‍රස්තුත අතර සම්බන්ධයක් ඇති බව කියන්නේ කෙසේ ද? එවන් සම්බන්ධතා ඇතිවන්නේ නම් ඒ ප්‍රස්තුත අතර ව්‍යාකරණමය සම්බන්ධතා නිසා ම පමණි. හේතු දැක්වීම යනු ප්‍රස්තුත පෙළ ගැස්වීමක් මිස කිසිවක් නො වේ. එබැවින් ඉහත 3,4 වැනි කරුණු සඳහා යම් ආකාරයකින් හේතු දැක්විය හැකි වුවත් එම හේතු දැක්වීම් මඟින් කිසිවක් ම නො කියවෙනු ඇත. යමකට හේතු ඉදිරිපත් කිරීමේ විශේෂ වැදගත්කම කුමක් ද?
5 කරුණට කිව යුත්තේ හේතු දැක්වීම් යනු නිෂ්ප්‍රයෝජන ක්‍රියාවන් බව ය. පරම හේතුවක් දැක්වූව ද ඉන් ප්‍රයෝජනයක් නැත. "නිවනේ විය හැකි බව නොමැති බව" වංගීස මෙය තවත් සංකල්පයක් ලෙස ගෙන ඇත. ඔහු ගේ තර්කයේ එය විශාල අඩුපාඩුවකි.
6. නැවතත් හේතු ඇසීමකි. හේතු දැක්වීමෙන් ප්‍රයෝජනයක් නැත. නිවන අනේකත්වයක් වේ යන්නෙන් නිවන සංකල්පයක් කෙරේ එහෙයින් ඔහු ගේ තර්කය හිස් ය.
වංගීස ගේ සියලු තර්ක පදනම් වන්නේ ඔහු ගේ ස්වචාර (idiosyncrasies) දෙකක් මත ය.
1. හේතු සෙවීම
2. යමක් නැත යනු එහි නො පැවැත්ම පිළිගැනීමය යන අදහස
1. රේඛීය හේතු සෙවීම කිසිදු තේරුමක් නැති ක්‍රියාවකි. හේතුව හා ඵලය යනු කවරේ ද? ඒවා අතර සම්බන්ධය කෙසේ ද? හේතුවක් දැක්වීමෙන් ඵලය සම්බන්ධව ඇතිවන විශේෂ විශ්වසනීයත්වය කුමක් ද?
2. වංගීස දකින්නේ P=F නම් ~P= T ලෙස ය.
පෙර ලිපියක දී ඇති වූ සංවාදයේ දී ඔහු කීවේ. P=~(~P) වන නිසා. P හි පැවැත්ම නො පිළිගැනීම යනු P හි නො පැවැත්ම හෙවත් ~P හි පැවැත්ම පිළිගන්නා බවයි.
වංගීසට අමතක වන්නේ බටහිර තර්ක ශාස්ත්‍රයේ පවා නැත යන්න දෙයාකාර බව ය.
පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමේ නැත යන්නට තර්ක ශාස්ත්‍රීය මූලධර්ම වලංගු නො වේ.
P හි කතා විශ්වය (universe of discourse) අභිශූන්‍ය වූ විට මූලික තර්ක නීති සියල්ලට විරුද්ධව ප්‍රස්තුත හැසිරේ.. එනිසා වංගීස ඉදිරිපත් කරන තර්ක වලංගු ඒවා නො වේ.
උදාහරණයක් ලෙස:
බටහිර ගණිතයේ කුලකයක් සංඛ්‍යා රේඛාවක දැක්වූ විට එහි දිග ගැන කතා කළ හැකි ය.
එහෙත් විශේෂ B නම් කුලකයක දිග 0, අනන්තය හෝ පරිමිත සංඛ්‍යාවක් නො වේ. ඊට දිග යන සංකල්පය ම නැත. එයින් එහි දිගක් නො පවතින බව විය හැකියැයි පිළිගැනීම අදහස් නො වේ. දිග 0 නොවන බැවිනි. දිගක් නැත කීම හා දිග ශූන්‍ය වීම එකක් නො වේ. දිග ශූන්‍ය වීම එක නැත යන්නකි. දිග යන්න ම අහෝසි වීම අනෙක් නැත යන්නයි.
මෙහිදී සංකල්පීය ඇත යන්නත් සංකල්පීය නැත යන්නත් අහෝසි වන්නේ එකට ම ය.
මනසට සාපේක්ෂ වූ පැවැත්මත් මනසට සාපේක්ෂ වූ නො පැවැත්මත් අවසන් වන්නේ එක ම විට ය.
-තමලු මලිත්ත පියදිගම-
Subscribe to:
Post Comments (Atom)
අලුත් ම සටහන
බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි
බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...
වැඩිපුර කියවූ ලිපි
-
(2017.06.11. ඉරිදා රිවිර) මිනිසුන් ගණන් කිරීම පටන් ගෙන ඇත්තේ එඬේර යුගයේ බව සඳහන් ය. එකල තමාගේ රංචුවේ සිටින සතුන් සංඛ්යාව ගණන් කර ගැනී...
-
ධර්මපාලතුමා ගේ චිකාගෝවේ ආගම් පාර්ලිමේන්තුවේ දී කරන ලද දේශනය මෙතැනින් Above link shows the speech of Hon. Anagarika Dharmapala , a Buddhis...
-
(ඉරිදා රිවිරට ලියූවකි.) කලින් ලිපියෙ දි මම කිව්වා ' කතා කරන භාෂාවටත් ව්යාකරණයක් තියෙනවා. හැබැයි ඒ ව්යාකරණය ලියන භාෂාවට වඩා වෙනස් ක...
-
I think it will be better if I begin this discussion explaining two fold Aristotlean dialectic logic which is in power now , due to th...
-
මුල් ලිපියට චින්තන අතර දැනුම් හුවමාරුව චින්තන අතර දැනුම් හුවමාරු වන ආකාර තුනක් වේ. ආරෝපණය : එක් චින්තනයක් දරන පිරිසක් තව...

No comments:
Post a Comment